නීර්භීත ධනංජය නැවතත් පිත්ත අතට ගනියි” මවුබිම වෙනුවෙන් තරග කරන්න ධනා කොදෙව් දූපත් බලා යයි

da

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා නම් කර තිබියදී සිය පියාගේ හදිසි අභාවය නිසා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි සුපිරි පිතිකරු ධනංජය ද සිල්වා නැවතත් කොදෙව් දූපත් බලා පිටත්ව ගොස් තිබේ.
ධනංජයගේ පියාණන් වූ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වූ රන්ජන් ද සිල්වා නාඳුනන තුවක්කුකරුවගේ වෙඩි ප්‍රහාරයට ලක්වී ඝාතනයට ලක්වූයේ පසුගිය දිනය. සිදුවීම නිසා කොදෙව් දූපත් බලා යමින් සිටි ධනංජය ද සිල්වා සිය කොදෙව් සංචාරය අතහැර දමා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය. සියා පියාගේ අභාවයෙන් ධනංජය දැඩිසේ කම්පනයට පත්ව සිටි අතර ඔහුගේ ශෝකය පහකරගැනීම සඳහා ධනංජයට ඇති තරම් කාලය දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

සිය පියාණන්ගේ අවමඟුල් කටයුතු සියල්ල නිමාවූ පසුව යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ.

“එයා ඉරිදා දිනය ඇතුළත කොදෙව් බලා යනවා. ඒත් පළමු ටෙස්ට් තරගයට එයා ක්‍රීඩා කරනවාද නැද්ද කියන එක කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කරාවි” යයි තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මාධ්‍යයට පවසා තිබුනි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් බටහිර ඉන්දීය දූපත් සමූහයේ තරග සංචාරයක නිරත වූ ධනංජය එහිදී දියත් කළ සාර්ථක පිතිහරඹය නිසා නැවතත් ජාතික කණ්ඩායමට එක්විය. පසුව ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් වලට එරෙහිව ශතක ලබාගත් ධනංජය ටෙස්ට් කණ්ඩායම තුළ නැවත සිය ස්ථානය තහවුරු කරගත්තේය. මේ වනවිට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් එක් පිතිකරුවෙකු බවට ධනංජය පත්ව තිබෙන අතර ඔහුගේ සුපිරි පිතිහරඹය පසුගිය කාලයේම ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග දිනවීමට සහ බේරා ගැනීමට සමත් විය.

මේ දක්වා ටෙස්ට් තරග 13 කදී, ටෙස්ට් ශතක 4 ක් ද සමගින්, ලකුණු 1066 ක් ලබා සිටින ධනංජය ද සිල්වාගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 46.34 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *